Friday, May 18, 2012

දණ ගාගෙන ගෙදර ගියපු දවස





මම බ්ලොග් කියවන්න ඇවිත් වැඩි කාලයක් නෑ. හරියටම දිනෙත් එක්ක තියනවා නම් Wednesday, April 06, 2011. ඉස්සර මම එළකිරියට නිතර වගේ ගොඩ වැදුන කෙනෙක්. දවසක් එක ත්රේඩ් එකක හෝ ගාලා වලියක් යනවා එකෙක් පොස්ට් එකක් දාලා.. ඒකට තව එකෙක් වලිය දානවා ඒක උගේ නංගිගේ බ්ලොග් පෝස්ට් එකක් මෙන්න මූ කොපි කරලා කියලා.. කොහොමින් කොහොම හරි ඇත්තටම ඒක බ්ලොග් එකකින් ගත්ත එකක් තමයි .. මේ වලිය අස්සේ දාලා තිබ්බ ලින්කුවක් දිගේ මම ගියා http://somethingfromeverything.blogspot.com කියන බ්ලොග් එකට. ඇත්තටම එදා දවසම වෙන වැඩක් කලේ නෑ... ඒ මුළු බ්ලොග් එකම කියෙව්වා.. 

පල්ලෙහා දාලා තියෙන්නේ ඒ බ්ලොග් එකේ තිබ්බ කථාවකට මම දාපු කොමෙන්ටු කථාවක් 

---------------------------------------------------------------------------------
ගොඩක් පරණ පෝස්ට් එකක් වුනත් මේකට Reply එකක් දාන්න හිතුනා... මොකද කියනවා නම් මේ විදියේම වැඩක් මටත් වෙලා තියෙන නිසා...


මේ කියන දවස්වල මම මගේ 6.... 07... වෙනි ලව් ස්ටොරි එකේ , තියලා . තියලා හිටියේ .... ගෙදරිනුත් ඒ ගැන දැනගෙන හිටියා...ගෙදරින් ඒ දවස් වල මා ගැන ටිකක් සෙවිල්ලෙන් තමයි හිටියේ, කොල්ලා අවුලෙන් කියලා...



දවසක් හවස් වැඩ ඇරිලා එන‍කොට මගේ යාළුවෝ දෙන්නෙක් කථා කරලා කිව්වා පොඩි අඩියක් ගහමු කියලා... මම බෑම කිව්වා ( ගෙදර යන්න.... හී හී )ඉතින් දෙන්නගෙ බල කිරීමටම මමත් ගියා. වැඩේ ඉතින් හීමිට පටන් අරගෙන ටික ටික දුර ගියා... පටන් ගත්ත වර්ගෙන් නෙමේ ඉවර වූනේ ( කට්ටිය දන්නවනේ වර්ග 03 04ක් කලවම් වුනාම ඉතින් සොරි.කොම් තමා)



ටිකක් රෑ වුන හින්දා මම එක යාළුවෙකුට කිව්වා මාව ගෙදර දාලා එන්න කියලා... ටිකක් විතර කෙලින් ඉන්නත් අමාරු වෙලයි හිටියේ. ඉතින් පොර මාව බයික් එකේ දාගෙන අපේ ගෙවල් පාරට හරවලා ටික දුරක් ඇවිත් කිව්වා මචන් බැහැපන් ගෙදරට ආවා කියලා..රයිට් මචන් බුදු ෆිට් එක පස්සේ සෙට් වෙමු කියලා බදාගෙන ඉඹලා, මමත් ගියා ගේට්ටුව ගාවට ... අපේ ගෙදර වෙනද නැති විදියේ ගේට්ටුවක් හින්දා පොඩ්ඩක් ආපහු සැරයක් වට පිට බැලුවා... මළ තොප්පියයි යාළුවා මාව බස්සලා තියෙන්නේ වෙන ගෙදරක් ඉස්සරහනේ... දැන් ඉතින් මොකද කරන්නේ?? මම පාරට ඇවිත් උතුර දකුණ බැළුවා... ලාවට වගේ අපේ ගෙවල් පැත්ත කියලා මට හිතුන දිහාවට හැරිලා පා‍රේ පළල මැන මැන දණ ගාගෙන ගියා... ගෙදරට ලං වෙන කොට මට තේරුනා අද නම් සොරිම තමා කියලා. අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉස්සරහට වෙලා කාලය දීපය දේශය විපරම් කරනවා... වෙන කරන්න දෙයක් නෑ... ඕන මගුලක් ප්‍රීති වෙසක් කියලා පපුව ඉස්සරහට දාගෙන ගියා ඇතුලට.. මල් පෝච්චි දෙකක විතර හැප්පිලා දොරේ උළුවස්සේ ඔළුවත් වද්දගෙන ගේ ඇතුලට යන පුත්තරයා ‍දිහා අපේ අම්මයි තාත්තයි බැළුවේ නිකන් @#$%$$#@# වගේ ... 



මම කෙලින්ම ගියේ කාමරේට දොර ලොක් කරගෙනම වැතිරුනා ඇඳේ ( එහෙම තමයි හිතුවේ හැබැයි පස්සේ බලද්දි තමා දන්නේ සිසිල් පොලොවේ කියලා, උදේ හිටියේ ඇඳ යට )



මට දැන් ඉතින් ඇහෙනවා දෙන්නා පුපුරන සද්දේ.. අනේ ඉතින් මගේ පරණ කෑල්ලටත් එක්ක තමා දෙන්නා දෙහි කැපුවේ.. හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ, ඊට පස්සෙන්දා උදේ නැගිටිනකොට වෙනදා වගේම තේ එක කාමරේටම ආවා.... මුකුත් නොකිව්වත් ගොඩක් දේවල් අම්මගේ මූනෙන් පෙනුනා..



එදාට පස්සෙත් ඉඳලාම හිටලා සමහර වෙලාවට සෙට් වුනත්.. සීමාවක් මායිමක් ඇතුව තමා .. 

දැන් නම් ඉතින් NO CHANCE කොල්ලෙක් නෙමේ තාත්තෙක් හින්දා..
--------------------------------------------------------------------------------
ප/ලි : කොමෙන්ට් එකේ ඒ කාලේ NO CHANCE කිව්වට... දැන් නම් ඉතින් එහෙමමත් නෑ 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...