Friday, December 2, 2011

ලව් ඩ්‍රෙස් | ටිකක් ‍හිනාවෙන්න



පොඩි කථාවක් මතක් වුනා... මේක මම ඇහුවේ ඉංගිරීසි ඩිප්ලෝමාවක් කරන්ට ගිය කාලෙක ඒකේ උගන්නපු මරු සර් කෙනෙක්ගෙන්. පොර මේකේ ඔරිජීනල් වර්ෂන් එක ඉංගිරිස් වලින් කල නිසා මට තේරුණ සිංහලෙන් එක ‍මෙතන කොටනවා
(මේ කථාව සර් කියපු වෙලේ හෝල් එක පිරෙන්ඩ අවස්ථා 03 කදී හිනා හඩින් පිරී ගියෝය. විස්තර පසුවට)

ලඟදී කසාද බැන්ද තමන්ගේ දුවව බලන්ඩ කියලා අම්මා ගියා ළු බෑණ‍ගෙ ගෙදර. ඔන්න ඉතින් ගෙදර දොර ලඟට එහෙම ගිහිල්ලා බැල් එක ගහලා ඉන්න කොට, දොර ඇරගෙන ආපු දුවව දැක්ක අම්මා කලන්තේ හැදෙන්න ඔන්න මෙන්න සයිස් ළු... 
මොකද කියනවානම් දුව ඇවිල්ලා තියෙන්නේ 100% නූල් ලස් ඇඳුමක් ඇඳගෙන... (ඉංගිරීසියෙන් කිව්වේ නූල් පටක් නැතිව කීලා)

"ඈ දුවේ මේ මොන කෝලමක්ද? උඹට පිස්සුද"

දුව ටිකක් ඇඹරිලා එහෙම කිව්වළු
"අනේ අම්මා, මේ මගේ ලව් ඩ්‍රෙස් එක, කැමති නැද්ද මේකට? මේක ඇඳලා හිටියාම අපේ හබියා මට මාර ලව්"

"අනේ උඹලගේ විකාර" කියලා අම්මා ආ ගිය විස්තර එහෙම කථා කරලා බේරිලා ඉතින් ආපහු ගෙදර ආවළු.

ගෙදර ඇවිල්ලා ඉන්න අතරෙදි ඔය දුවගේ ලව් ඩ්‍රෙස් එක ගැන මතක් වෙලා ... අම්මටත් හිතුන ළු ඕක ට්‍රයි කොරලා බලාන්ට.. අනේ ඉතින් හවස මහත්තැන් එන වෙලාව බලලා එහෙම අර නූල් ලස් ඇඳුමට බැහැලා බලාගෙන හිටිය ළු මහත්තැන්ව සර්පයිස් කොරන්ඩ. 

හවස බැල් එක ගහනවත් එක්කම දුවගෙන දොර ගාවට ගියපු අම්මා කෝකටත් කියලා කලින් ජනේලෙන් බලලා (මහත්තැන්මද ආවේ කියලා)  දොර ඇරලා....


මේක දැක්ක මහත්තයා එක පාරටම බයවෙලා වගේ අහලා

"නොනේ මේ මොකද? ඔයාගේ ඔළුව හොඳ නැතිවේගෙනවත් එනවැයි?"

නෝනා කියලා..

"අනේ ඒයී, මේ මගේ ලව් ඩ්‍රෙස් එක, ඔයා කැමති නැද්ද?"

මහත්තයා ටිකක් වෙලා කල්පනා කරලා නෝනා දිහා බලලා එහෙම කිව්වා ළු

"ඩ්‍රෙස් එක නම් හොඳයි නෝනේ? හැබැයි ඔයා ඕක අයන් කරලා නෙමේද ඇන්දේ......? "




ප/ලි : මේක සර් කියපු ගමන්ම 
1) ඉංගිරීස් දත් ස්ටාටර් ‍හොඳට වැඩ අය ඔන් ද ස්පොට් හිනා වුනේය,
2) ඉංගිරීසිත් මදක් දත් හැබැයි ටියුබ් ලයිට් ‍පොරවල් ටික වෙලාවකට පසුව හිනා වුනේය,
3) ඉංගිරීස් නොදත් ලඟ හිටපු කලින් හිනා වෙච්චි එකෙක්ගෙන් අහගත් පොරවල්  එක පාරට මහ හඩින්ම සිනා සුන නිසා ඔක්කෝටම නැවතත් හිනා ගියේය..

මම හිනා වුනේ කෝකටද කියා මතක නැත

Monday, November 28, 2011

හාන්දුරුවන්ගේ මොලේ | පාසල් කා‍ලය


මේ බ්ලොග් එක පටන් ගන්න කොට කිව්වා වගේම මේකත් මගේ ඩයරි ලිවිල්ල වගේම වුනා. පටන් ගත්ත ගමන් උඩ දාගෙන ලියන්න ගත්තට මොකද ටික දවසක් යනකොට වැඩේ එපා වෙන ගානටත් ඇවිල්ලා තිබුනේ. ඒ මදිවට තව අළුතින් වෙන වැඩක් පටන් ගත්ත නිසා රා..කළස ගැන මටත් අමතක වෙලා තිබුනේ. ඒත් ඉතින් මෙන්න මගේ ඉ-තැපෑලට රා..කළසට අළුතින් දාපු කමෙන්ටුවක් ඇවිල්ලා.. වෙන කාගෙන්වත් නෙමේ අර‍ ලෝ පරසිද්ධ කතන්දර මහත්තයගෙන්. අනේ ඉතින් ඒ ව‍ගේ උත්තමයෙක් මගේ මෙව්වා එකට ඇවිල්ලා කමෙන්ටුවකුත් දැම්මට පස්සේ මේ වැඩේ කොහොමද මම නවත්තන්නේ.

හා එහෙනන් ‍අයෙත් රා..කළස ලියන්නයි තනන්නේ..

ඔන්න ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ වෙච්ච තවත් සිද්ධියක් ගැනයි මේ කියන්න හදන්නේ. අපට ඕ/එල් කරන කාලේ බුද්ධ ධර්මය ඉගැන්නුවේ අපේ හාමුදුරුවෝ.. සමහර වෙලාවට ටිකක් විතර සැර වැර කලත් හැමෝම එක්ක වගේ අපේ හාමුදු‍රුවෝ විහිළු තහළු කරලා සමගියෙන් සහයෝගයෙන් තමයි පාඩම් ඉගැන්නුවේ. ඒ වගේම තමයි මොකක් හරි කේස් එකකට පන්තියේ එකෙක් හරි ටොක්කක නම් හාමුදුරුවන්ගෙන් කනවා කනවාමයි.

ඔන්න ඉතින් විභාගේට ඔන්න මෙන්න කියලා අපේ පන්තියට ආපු හාමුදුරුවෝ අපිට විභාගේ ගැන සුභ පතලා එහෙම යන ගමන් මෙන්න මෙහෙම කිව්වා..

බුද්ධ ධර්මයට විශිෂ්ඨ සාමාර්ථ ගන්න අයට මගේ ගානේ "කල්කිරි" අරන් දෙනවා...
(ඒ දවස්වල අපේ කැන්ටීන් එකේ තිබුන අපි කා අතරත් ජනප්‍රිය බීමක් තමා චොක්ලට් රස කල්කිරි)

කොහොමින් කොහොම හරි විභාගෙ තිබ්බා.. කාලෙත් ගෙවුනා අපි ආපහු ඒ/එල් කරන්න ඉස්කෝලෙට ආවා. දවසක් කට්ටිය කයියක් දාගෙන ඉන්න අතරේ අපේ හාමුදුරුවෝ ඒ ලගින් යන ගමන් අපිව දැකලා..

හා කොහොමද ළමයිනේ... විස්තර , එහෙම කියලා අපිත් එක්ක කථාවට වැටුනා..

වැඩේ කියන්නේ එතන හිටපු ගොඩක් අයට බුද්ධාගමට "ඩී".. ඔය විස්තර අහ අහ ඉන්න අතරේ අපේ එකෙක්ට මතක් වුනා හාමුදුරුවෝ කල්කිරි අරන් දෙනවා කිව්වා කථාව.

ඉතින් පොර හිමීට හාමුදුරුවන්ට ඔය ගැන මතක් කරා

"හාන්දුරුවනේ කල්කිරි"

හාමුදුරුවන්ටත් වැඩේ මතක් වුනේ එතකොට..

හා හා එහෙනම් ඉතින් කිව්වා වගේම කරන්ඩත් එපැයි කියලා අතේ තියාගෙන හිටපු පොඩි පොකැට් එකකින් රුපියල් විස්සක් අ‍රගෙන අපේ එකෙක් අතට දීලා කිව්වා ..

එහෙනන් කට්ටියම බෙදාගෙන බොන්ට....... මට ඊලග පිරියඩ් එකට වෙලාවත් හරි, මම යනවා එහෙනන්...

ඇත්තට ඉතින් හාමුදුරුවෝ කල්කිරි ඇරන් දෙනවා කිව්වාට ගානක් කිව්වේ නෑ නේ..

කොහොමද හාන්දුරුවන්ගේ මොලේ?



Monday, September 5, 2011

කමක් නෑ ඉතින්, මල්ලිගෙනේ.... | යාළු කථා


ඒ දවස්වල අපි අතර (අපේ යාළුවෝ කට්ටිය අතර) ජනප්‍රිය වෙච්චි කථාවක් තිබ්බා "හලංගොඩ බස් එක" කියලා. අ‍පි මොකක් හරි වැඩකට සෙට් වෙන වෙලාවකට, අදාල නොවෙන අපි අකමැති පුද්ගලයෙක් හිටියොත් කරන්නේ එයාව හලංගොඩ බස් එකට නංගවන එක තමයි. කොටින්ම කියනවානම් එයාව හලන එක..... මොකද සමහර වෙලාවට ඔය අනවශ්‍ය මිතුරු ඇසුර නිසා විඳවන්න වෙන්නේ අපිටමයි...


ඔන්න ඉතින් එක දවසක් අපේ යාළුවෝ දෙන්නෙක් වෙන සේනයි, බංඩාරයි පොඩි පහේ වැඩකට සෙට් වුනා. ( වෙන මොකද්ද ඉතින් අමරස සිංහ මාර්ක් බීර පානයට තමයි ) අසනීප වෙච්ච කොම්පියුටර් කෑල්ලක් අටවලා දීපු ප්‍රීතියට ඒකේ අයිතිකාරයා බංඩාරට පොඩි ගතමන්ට් එකක් දීලා, දැන් ඒකෙන් පොඩි පහේ වඩේ 10 යි බීර 02 යි අරගෙන පාර්ටියට සෙට් වෙන්ඩ එනකොට... අපේ සේනගේ අයියා (මහප්පගේ පුතා) මූණටම සෙට් වෙලා... හැබැයි ඉතින් බුවා ටිකක් විතර කන බොන කේස් වලට වාත පොරක් සහ තියෙන්නෙත් දෙකයි හින්දා මුන් දෙන්න කරේ මොකක් හරි බොරුවක් දාලා අයියා කාරයව හලංගොඩ බස් එකට නංගවපු එක..


ඔන්න ඉතින් ආපු බාධකත් සාර්ථකව අයින් කර ගෙන දෙන්නත් එක්ක ගෙවල් ගාව තියෙන පිට්ටනියක් අයිනේ තිබ්බ "ප්‍රජාශාලාවක්" ඇතුලට වෙලා හිමීට හිමීට වැඩේ කරගෙන ගියා. (ප්‍රජාශාලා තියෙන්නේ ඉතින් ඕකට නොවැ) කොහොමින් කො‍හොමහරි වඩේත් ඉවරයි බඩුත් ඉවරයි මට්ටමට ආවාම අපේ සේනට ආවා පොඩි පහේ උවමනාවක් ..... බීර බිව්වාම කොහොමත් ටිකක් වැඩියෙන් මේක වෙනවළුනේ (මම නම් දන්නේ නෑ ඕං, මම අහලා තියෙනවා.....) ඉතින් මේ යෝධයා ප්‍රජා ශාලවේ මුල්ලකටම ඔය වැඩේ කොරන්ඩ යද්දි බංඩාර ඕකට විරුද්ධ වෙලා ( අන්න වැදගත් මිනිස්සු )
පස්සේ වෙන තැනක් නැති හින්දා, අර හිස් වෙච්ච එක බෝතලයක් පාවිච්චි කරලා තියෙනවා ඔය වැඩේට. ඉතින් ඔය වැඩේත් ඉවර වෙලා දෙන්නත් එක්ක පොඩි කයියක් දාගෙන ඉන්කොට අර කලින් හලංගොඩ යවපු අයියා කාරයා ඔන්න ඔතනින් යන ගමන් මුන් දෙන්නව දැකලා ඇතුලට ඇවිල්ලා. ආපු ගමන් අයියා දැක්කේ බිම තිබ්බ බෝතල් දෙක. අයියට තේරුනා මුන් දෙන්නා එයාට හොරෙන් තමයි සෙට් වෙන්න ගියේ කියලා....
" අඩෝ උඹලා මාව හලලා බොන්ඩ නේද හැදුවේ හිටපල්ලා උඹලට" කියලා පැනපු ගමන් බොතලේ කටේ තියාගෙනම බොන්ඩ ගත්තළු, උගුරක් දෙකක් විතර බොනකොට මෑන්ට රහේ වෙනස තේරිලා, බීපු ඔක්කොම ආපහු දාලා.... " කවුද යකෝ මේකට *** කරපු #$%#$% පුතා " කියලා අහලා.


සීන් එකට අපේ දෙන්නට නවත්ත ගන්න බැරිව හිනා....




ප/ලි : දැන් ඉතින් ඔය සිද්ධිය අපි ඉඳලා හිටලා පොරට මතක් කරන කොට පොර කියනවා...


"කමක් නෑ ඉතින්, මල්ලිගේ ** නේ....."

(කථාව සීයට දෙසීයක් ඇත්ත වන මුත් නම් 02 නම් පට්ටම පට්ටපල් බොරුය, කලින් කථාවක ලඟින් යන නමක් දමා අතේම මාට්ටු වූ නිසා එසේ කරන ලදී)

Sunday, September 4, 2011

වෙඩිතියන්න එපෝ..........| මටමයි වෙන්නේ


මේ සිද්ධිය වෙන කාලේ ගොඩක් දුරට කොටි කලබල තිබ්බ කාලයක්. මම සේවය කරන ප්‍රදේශයෙත් සෑහෙන බරපතල සිදුවීම් සිදුවෙච්ච කාලයක්... 2006 අවුරුද්ද වගේ මට මතක විදියට. ඉතින් හැමෝගේම හිතේ තිබුන කොයි වෙලාවේ හරි මොනයම් හෝ අනතුරක් වෙයි කියන බය. ඒ දවස් වල අපි කට්ටියම ක්වාර්ටස් එකේ නැවතිලා හිටයේ. විශේෂයෙන් බස් එකේ නිතර යන එනවට ගෙදරිනුත් වැඩි කැමැත්තක් දැක්වුවේ නැති නිසා සහ ගොඩක් අය දුර බැහැර සිට සේවයට පැමිණෙන නිසා ( මට නම් ඉතින් පැයක දුර )

ඉතින් මේ කියන දවසේ අපේ කාර්යාලයේ රුස්වීම් ශාලාවේ තිබුනා පොඩි උත්සවයක් ... පළාතේ ඉන්න මැති ඇමතිවරුන් සහ ආයතන ප්‍රධානීන් වගේ උදවිය එහෙමත් ඇවිල්ලා හිටියා. උත්සවයේ වැඩ කටයුතු වලට පොඩි පොඩි උදව් පදව් කරලා එහෙම වැඩේ පටන් ගත්තට පස්සේ මම හිමීට මාරු වුනා ක්වාර්ටස් එකට. කම්මැලිකම යන්නත් එක්ක අපේ කාමරේ තිබ්බ කම්පියුටර් එකේ තිබ්බ මාරාන්තික ක්‍රීඩාවක් කරන්න පටන් ගත්තා. ඉතින් මාත් වීරයා වගේ අතට අහු වෙන හැම එකාටම වෙඩි තිය තිය... ඒ මදිවට ස්පීකර් වල සද්දෙත් වැඩි කරගෙන සම්පූර්ණයෙන්ම ගේමට ආවේශ වෙලයි හිටයේ (දන්නවනේ ඉතින් ගෙම් ගහන්න ගත්තම මෙලෝ සිහියක් නෑ නොවැ) 

ඔහොම ටික වෙලාවක් ඉන්නකොට මට කාමරේ ජනේලේ පැත්තෙන් පොඩි සද්දයක් ඇහුන නිසා මම ඒ පැත්ත බැලුවා..... බුදු අම්මෝ මෙන්න ජනේලේ අයිනෙන් කළුම කළු මිනහෙක් මගේ දිහාවට තුවක්කුව කොටයක් දික් කරගෙන ඉන්නවා. මිනිහගේ ඔළුවෙන් භාගයයි මට පේ‍න්නේ. ඉහින් කනින් දාඩිය දාන්ඩ ගත්තා.. ඒ මදිවට කකුල් දෙකත් වෙව්ලනවා... | අද නම් බඩු ෂුවර්, මූ දැන් මට අනිවා වෙඩි තියෙනවා, නැගිටලා දුවනවද? නැත්නම් ඇඳ අස්සට රින්ගනවද? එක්කෝ මූ මට වෙඩි ති‍යන්නේ නැතිවෙයි... මෙච්චර ලොකු ලොකු පොරවල් රැස්වීමේ ඉන්දැද්දි මං වගේ අහිංසකයෙක් මරලා මුන්ට මොකටද? | මට දැන් මේ ඔක්කොම හිතෙනවා... කෑ ගැහෙන්නෙත් නෑ.............

හිතට හයිය අරගෙන හූ කියාගෙන දුවන්න කියලා හදනකොටම... මෙන්න අර ත්‍රස්තවාදියා‍ පොඩි හිනාවක් එහෙම දාගෙන තුවක්කුවත් පැත්තකට කරලා මගේ දිහා හොඳට බලලා ඇහුවා .... ආ... මල්ලි බය වුනාද කියලා...

හත්දෙයියනේ මේ අපේ ඩැයිවර් අයියනේ .... තව පොඩ්ඩෙන් දිව්වා නම් එහෙම හතර විලි ලැජ්ජාවයි..... ඒ අස්සේ මෙන්න මේක මට නොන්ඩියට හිනත් වෙනවා...  ඒ මදිවට මේකා ගිහිල්ලා රසකර කර කථාව අනිත් එවුන් ටිකටත් කියනවා...


බැරිවෙලාවත් දිව්වා නම් එහෙම වසලා හමාරයි........




Thursday, September 1, 2011

බංගලි වළළු ගෙන එන්නයි.....


මේ කථාව මට අහන්න ලැබුනේ මගේ මිත්‍රයෙක්ගෙන්. ඒයා කිව්ව විදියට නම් මේක සත්‍ය සිඳුවීමක් ළු. හැබැයි ඉතින් දන්නවනේ කට්ටිය කතන්දර කියන්නේ හරියට තමන්ටම වුනා වගේනේ... එතකං හොයලා බැලුවම තමයි තෙරෙන්නේ ඇත්ත නැත්ත.

ඔන්න ඉතින් එක්තරා ගමක ඉඳලා තියෙනවා ටිකක් සංගීතයට බර ඔය නාඩගම් වලට එහෙම ගොඩක් ආශා කරන පොරක්. මෙයා ටිකක්  තිතට "මත" තියෙන පොරක් කියමුකෝ. හැබැයි ඉතින් පදමට ආවාම කථාවට නම් තිතක් තියා‍ කොමාවක්වත් තියන්නේ නෑළු....

ඉතින් දවසක් මේ ගමේ තිබිලා කියෙනවා සංගීතයක්, (සමහරවිට ජහුටා එකක් වෙන්නත් ඇති) අර කලින් කිව්ව පොරත් ඔන්න වෙනදා වගේම බෙල්ල ගාවට ගහලා ගිහින් තියෙනවා ඕක බලන්න.. අනේ ඉතින් මේක බලන් ඉන්නකොට පොරටත් හිතිලා තියෙනවා සිංදුවක් කියන්ඩ ඕනේ කියලා. එහෙම හිතපු පොර හිමීට සංවිධායකයෙක් ගාවට කිට්ටු කරලා තමන්ගේ ආශාව ගැන කියලා තියෙනවා.

මේවගේ ඉතින් කාටත් තහනමක් නෑ සිංදු කියන්න, මොකද සිංදු කියන තරමට තමයි සංවිධායකයින්ට වාසි. සිංදුවකට පොඩි ගානක් ගන්නවා ( කොටින්ම කියනවානම් සිංදු වෙන්දේසී කරනවා ) කොහොමින් කොහොම හරි මේ කියන පොරත් සිංදුවක් කියන්න චාන්ස් එකක් ඉල්ලා ගත්තා....

පොරගේ වාරය ආවාම මයික් ඉස්සරහට ගිහින් සිංදුව කියන්න පටන් ගත්තා කියමුකෝ... ඔන්න ඉතින් අහගෙන ඉන්න අයට ඇහෙනවා මෙන්න මෙහෙම ලයින් එකක්

බං.......  ගෙ....... පො......

සිංදුවක් නෑ.... ඉතින් කට්ටිය පොඩ්ඩක් ලං වෙලා එහෙම බලලා මොකද මේ සීන් එක කියලා... මොකද දන්නවද වෙලා තියෙන්නේ?

පොර සිංදුව කියන්න ගිහිල්ලා මයික් එක ගාව හිටගෙන සරමේ කොනක් එහෙම උස්සගෙන , අර නිකං පොඩි නැටුම් පාරක් එහෙම දාලා සිංදුව කියන ගමන් මයික් එක ඉස්සරහට පනිනවළු ආපහු පිටිපස්සට පනිනවළු.
ඉතින් මයික් එකට සෙට් වෙන්නේ සිංදුවේ පොඩි කෑලි ටිකක් විතරළු 

බංගලි වළළු ගෙන එන්නයි ‍පොරොන්දුව

Monday, August 29, 2011

රාජගේ අයියගේ මගුල් ගෙදර 2



ඔන්න ඉතින් වෙනද වගේම අපි සඳුදා ඉස්කෝලෙට ආවා කියමුකෝ.... කට්ටිය ඔක්කොම සුපුරුදු පරිදි වැඩ. වෙනදා වගේම එදත් පළවෙනි විෂය සංයුක්ත ගණිතය. හැබැයි වෙනද හරිම සැහැල්ලුවෙන් භාවනාවක් කරනවා වගේ අපිට උගන්නන අපේ "පියෝ" සර්ගෙ මූණ නම් එච්චර හොඳ නෑ. පන්ති නාමලේඛණයත් අත් දෙකෙන්ම තුරුළු කරගෙන එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා..... අපිට තේරුනා මොකක්හරි අමුත්තක්, වෙනදා විනාඩියක් අපතේ යවන්නේ නැතිව පන්තියේ එවුන් අහගෙන හිටියත් එකයි නැතත් එකයි කියලා ආපු වෙලේ ඉඳන් උගන්නන සර් අද මුකුත් කථා බහක් නෑ...

ටිකක් වෙලා එහෙම හිටපු සර් පන්තිය දිහාට හරිම කණගාටුවෙන් වගේ මෙහෙම කිව්වා
 

"මේ පන්තියේ ඉන්නවා හරිම තිරිසන් ළමයෙක්, විෂඝෝර සර්පයෙක්ටත් වඩා අන්තිම භයානකයි... මේ මනුස්සයා මට ගිය සිකුරාදා එයාගේ අයියගේ මගුල් ගෙදර එන්න කියලා මට ආරාධනා කරා... මම ලෑස්තිවෙලා ##### රෙස්ට් හවුස් එකට ඔය කියපු දවසේ ගියා.. හැබැයි එතන හිටපු අය මට කිව්වේ ... අයියෝ මේ හොටෙල් එකේ මාස ගාණකින් වෙඩින් එකක් ති‍බ්බේ නෑ කියලා.. මම තෑග්ගට දෙන්න මෙන්න මේ පොතත් අරගෙන ගියේ" කියලා අපිට බණ පොතකුත් පෙන්නුවා...
( මේ වෙලාවේ රාජා පන්තියේ හිටියේ නෑ... ඔය කථාව කියන අතරේ වැඩිපුරම බලාගෙන හිටියේ අපි දිහා කියලා නම් හොඳට තේරුනා.. අපිනේ රාජාගේ ලඟම මිතුරෝ)

දැන් ඉතින් කාලා වරෙන්කෝ... සර්ට ඔහොම තරහා ගිහිල්ලා මදි නොවැ මේ යකා කරපු මේ වැඩේට...

සාමාන්‍යයෙන් රාජා පන්තියට එන්නේ 8.45 ට විතර. ගොඩක් දුර බැහැර හින්ද එහෙමත් නෙමේ ඒක පොරගේ පුරුද්දක් වගේ වෙලා ති‍බ්බේ. ඉතින් වෙනද වගේම මෙන්න පොර පන්තියට ආවා, සර්ට Good Morning කියාගෙනම මූ හිනාවක් දාලා ඇහුවා....
"සර් වෙඩින් එකට ආවේ නැත්තේ ඇයි කියලා"

සර් වචනයක්වත් කිව්වේ නෑ කෙලින්ම ගියා උඩ තට්ටුවේ විදුහල්පතිතුමාගේ කාමරයට.

වැඩි වෙලාවක් ගියේ නෑ සුදොසුදු වතින් සැරසුන මහා සද්ධන්ත පුරුෂයා අපේ ගරු විදුහල්පතිතුමා පන්තිය ගාවටම අවා.... රාජාට පන්තියෙන් එලියට එන්න කියලා හරිම දායාබරව කිව්වා. රාජා පන්තියෙන් එලියට ගියේ වීරක්‍රියාවක් කරපු ටින් ටින් වගේ.. වැඩි වෙලාවක් ගියේ නෑ අළුත් අවුරුද්දට අර මොනවද පුපුරවනවා වගේ චට පට චට පට ගාලා ආපු සද්දෙට මුළු හොල් එකේම ළමයි සහ ගුරුවරු එලියට බැහැලා බලාගෙන හිටියා.

එදා නම් විදුහල්පතිතුමා රාජාට හොඳට සැලකුවා.... මෙහෙමත් කිව්වා

"තමුසෙට ලැජ්ජා නැද්ද මේ වගේ අහිංසක ගුරුවරයකුට ඔය වගේ ජරා වැඩක් කරන්න? දැන් පන්තියට යනවා..."

එතකොට අනේ අපේ පි‍යෝ සර් කිව්වා

"අනේ සර් මට නම් බෑ මෙයා ඉන්න පන්තියට උගන්නන්න"

වෙන මොනවා කරන්නද රාජාට ඒ මොහොතේම ස්ථාන මාරුවක් ලැබුනා "ඒ" පන්තියට.......

ඔය සිද්ධිය වෙලා අවුරුදු ගානකට පස්සේ ( හරියටම අවුරුදු 09 කින් විතර) දවසක් මට රාජා කථා කරා....
" මචං පොඩි ආරාධනාවක් කරන්න තියෙනවා, අපේ අයියගේ මගුල් ගෙදර තියෙනවා උඹ එන්නම ඕනේ "

හිතා ගන්න පුළුවන් නේද මට හිතුන දේවල්  

ප/ලි: හැබැයි ඇත්තටම උගේ අයියා බැන්දා... මායි තව යාළුවෝ දෙන්නෙකුයි වෙඩින් එකට ගියා, දැනට මාස දෙක තුනකට කලින්...
හැබැයි පි‍යෝ සර් නම් ඇවිත් හිටියේ නෑ                                                                                                                                                                                                         

රාජගේ අයියගේ මගුල් ගෙදර




‍මේ සිද්ධිය උනේ අපි උසස් පෙළ කරන කාලේ. අපේ යාළුවෝ සෙට් ඒකේ හිටපු අමුතුම ජාතියේ පොරක් තමා රාජා, හැබැයි ඉතින් ඕන වැඩකට රෙඩි වගේම පන්තියෙත් හිටපු හොඳම බ්‍රයිටා ( රිසල්ට් එනකන් ඒ බව දැනගෙන හිටයේ අපි විතරයි, වෙන අය වගේ පොර ගුරුවරුන්ට ලකුණු දාගන්න ගියෙ නැති නිසා ගුරුවරුත් පොර ගැන දන්නේ නෑ).

‍මේ කථාවේ අනෙක් ප්‍රධාන සාමාජිකයා තමයි අපේ පන්ති භාර ගුරුතුමා.. හරිම අහිංසකයා. කොච්චර අහිංසකද කියනවානම් අපිට කලින් හිටපු අයියලා එතුමට නමක් දාලා තිබ්බා "පියෝලතා" කියලා. සර් අපිට ඉගැන්නුවේ සංයුක්ත ගණිතය, කලින් කරලා ති‍බ්බේ ශුද්ධ ගණිතය (හිතා ගන්න පුළුවන්නේ නමේ වරුණ). හැබැයි ඉතින් ‍මොකද්දෝ නරක වෙලාවකට පියෝට රාජවත්, රාජාට පියෝවත් පෙන්නන්න බෑ.

දවසක් අපේ තව හොඳම ගජයෙක් එක්ක රාජා ඉස්කෝලෙට ආවේ විනාඩි 45 විතර පරක්කු වෙලා. උන් දෙන්නගෙම හොඳ වෙලාවටද කොහෙද ගරු විදුහල්පතිතුමා නම් පේන තැනක ඉඳලා නෑ. පන්තියට ආපු රාජගේ අතේ බුලත් අතක් තිබ්බ හින්ද මම ඇහුවා "මචං මොකද බුලත් අතක්" කියලා. රාජා දීපු උත්තරේට මට ටිකක් විතර මලත් පැන්නා. "අපේ අයියගේ වෙඩින් එකට සර්ට ආරාධනා කරන්න ගෙනාවේ මචං" කියලා මෙන්න රාජා කියපි.... ඇයි යකෝ අයියගේ වෙඩින් එක අපිටවත් කියන්න කලින් සර්ට කියන්නේ මූට පිස්සුද ?

සර් වෙලාව ඉවර වෙලා පන්තියෙන් එලියට යනවත් එක්කම නැගිටලා ගියපු රාජා බුලත් අත එහෙම දීලා සර්ට කථා කරලා ආව.. ආපු ගමන් ඉතින් අපේ එවුන් ටික වටකරගෙන රාජා ට පළු යන්නන බනින්න පටන් ගත්තා. (වෙඩින් එක අපිට නොකියපු තරහට) හැබැයි ඉතින් ඌ දුන්න උත්තරේට කට්ටිය හොල්මං.....

"උඹලට වෙඩින් එක කියන්න අපේ අයියා බඳින්න ඒපැයි බං"

"එහෙනම් උඹ සර්ට ආරාධනා කරේ" මං ඇහුවා

"නිකං බං" (පිස්සුද මූට)
බලන කොට වෙලා තියෙන්නේ මේකයි, මූ උදේම අපේ තව යාළුවෙක් එක්ක මොකද්දෝ සාත්තර සීන් එකකට බුලත් එහෙම අරගෙන පන්සලකට ගිහිල්ලා. හැබැයි වෙලා‍ව පරක්කු හින්දා වැඩේ කෙරිලා නෑ. ඉතින් එන ගමන් මූට ඇවිල්ලා මහා කුප්ප අදහසක්. ඒක තමයි මූ සර්ට බුලත් අතක් දීලා කියලා තියෙන්නේ අයියගේ මගුල් ගෙදර තියෙනවා කියලා...

ඔන්න ඉතින් අපි ඔය සිද්ධියට හිනා වෙලා ... කථා කරලා හිටියට දවස ගෙවෙද්දි අපිට ඕක අමතක වෙලා ගියා ... එදා සිකුරාදා දවසක් නිසා දවස් දෙකකට පස්සේ තමා ආයේ අපි හම්බ වුනේ....

ඔන්න ඉතින් වෙනදා වගේ අපි සඳුදා ඉස්කොලේ අවා කියමුකෝ..........
විහිළුවට වුනත් කරපු වැඩේ බරපතලකම අපිට විතරක් නෙමේ රාජා ටත් තේරුනේ එදා තමා.

Sunday, August 28, 2011

හා පුරා කියලා... ඕං


ඔන්න ඉතින් හා පුරා කියලා මාත් පටන් ගත්තා මෙව්වා එකක්. ඒත් ඉතින් මෙතැනින්ම ‍මේකේ ආරම්භයත් අවසානයත් සිද්ධ වෙයිද කියන එක තමා මට තියෙන බය. හරියට ඉස්කෝලෙ යන කාලේ ඩයරි ලිව්වා වගේ. අළුත් අවුරුද්දක් පටන් ගන්න කොට අපෙ තාත්තගෙන් හරි කාගෙන් හරි මට හම්බ වෙනවා නොවැ ඩයරියක්. අනේ ඉතින් මාත් පළවෙනි සතිය විතර කාපු බීපුවා ආගිය තැන් යාළු විස්තර පන්තියේ මොකද වුනේ... ඔය ඔක්කෝම හෑලි ටික ලියනවා ඕකේ. සතියක් දෙකක් යද්දි දවස දෙක හැලිලා යනවා. මාසයක් විතර මතක් කර කර ලිව්වත් අනේ ඉතින් මාස දෙක යනකොට නම් ඩයරිය අල්ලන්නෙවත් නෑ. හැබියි ඉතින් දැන් නම් හිතෙනවා අනෙ අපරාදේ කොහොම හරි ලියන්න තිබ්බා කියලා. මොකද කියනවනම්.... අර අමාරුවෙන් හරි ලියපු මාසේ දෙකේ විස්තර දැන් කියවන කොට හරිම ෂෝක් අප්පා. කමක් නෑ දැන් ඉතින් ගිය හකුරට නාඩන්නේ තියෙන මෙව්වා එක රැක ගන්නේ කියලා මේ වැඩෙත් කොරලාම බලමුකෝ. එහෙනම් ඕං හැමෝටම ආයුබොං කියලා මාත් පටන් ගන්නවා මගේ රා..කළස.... (එහෙම කිව්වට මේක රා කළයක් හෙම නෙවෙයි හොදේ)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...