Monday, August 29, 2011

රාජගේ අයියගේ මගුල් ගෙදර 2



ඔන්න ඉතින් වෙනද වගේම අපි සඳුදා ඉස්කෝලෙට ආවා කියමුකෝ.... කට්ටිය ඔක්කොම සුපුරුදු පරිදි වැඩ. වෙනදා වගේම එදත් පළවෙනි විෂය සංයුක්ත ගණිතය. හැබැයි වෙනද හරිම සැහැල්ලුවෙන් භාවනාවක් කරනවා වගේ අපිට උගන්නන අපේ "පියෝ" සර්ගෙ මූණ නම් එච්චර හොඳ නෑ. පන්ති නාමලේඛණයත් අත් දෙකෙන්ම තුරුළු කරගෙන එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා..... අපිට තේරුනා මොකක්හරි අමුත්තක්, වෙනදා විනාඩියක් අපතේ යවන්නේ නැතිව පන්තියේ එවුන් අහගෙන හිටියත් එකයි නැතත් එකයි කියලා ආපු වෙලේ ඉඳන් උගන්නන සර් අද මුකුත් කථා බහක් නෑ...

ටිකක් වෙලා එහෙම හිටපු සර් පන්තිය දිහාට හරිම කණගාටුවෙන් වගේ මෙහෙම කිව්වා
 

"මේ පන්තියේ ඉන්නවා හරිම තිරිසන් ළමයෙක්, විෂඝෝර සර්පයෙක්ටත් වඩා අන්තිම භයානකයි... මේ මනුස්සයා මට ගිය සිකුරාදා එයාගේ අයියගේ මගුල් ගෙදර එන්න කියලා මට ආරාධනා කරා... මම ලෑස්තිවෙලා ##### රෙස්ට් හවුස් එකට ඔය කියපු දවසේ ගියා.. හැබැයි එතන හිටපු අය මට කිව්වේ ... අයියෝ මේ හොටෙල් එකේ මාස ගාණකින් වෙඩින් එකක් ති‍බ්බේ නෑ කියලා.. මම තෑග්ගට දෙන්න මෙන්න මේ පොතත් අරගෙන ගියේ" කියලා අපිට බණ පොතකුත් පෙන්නුවා...
( මේ වෙලාවේ රාජා පන්තියේ හිටියේ නෑ... ඔය කථාව කියන අතරේ වැඩිපුරම බලාගෙන හිටියේ අපි දිහා කියලා නම් හොඳට තේරුනා.. අපිනේ රාජාගේ ලඟම මිතුරෝ)

දැන් ඉතින් කාලා වරෙන්කෝ... සර්ට ඔහොම තරහා ගිහිල්ලා මදි නොවැ මේ යකා කරපු මේ වැඩේට...

සාමාන්‍යයෙන් රාජා පන්තියට එන්නේ 8.45 ට විතර. ගොඩක් දුර බැහැර හින්ද එහෙමත් නෙමේ ඒක පොරගේ පුරුද්දක් වගේ වෙලා ති‍බ්බේ. ඉතින් වෙනද වගේම මෙන්න පොර පන්තියට ආවා, සර්ට Good Morning කියාගෙනම මූ හිනාවක් දාලා ඇහුවා....
"සර් වෙඩින් එකට ආවේ නැත්තේ ඇයි කියලා"

සර් වචනයක්වත් කිව්වේ නෑ කෙලින්ම ගියා උඩ තට්ටුවේ විදුහල්පතිතුමාගේ කාමරයට.

වැඩි වෙලාවක් ගියේ නෑ සුදොසුදු වතින් සැරසුන මහා සද්ධන්ත පුරුෂයා අපේ ගරු විදුහල්පතිතුමා පන්තිය ගාවටම අවා.... රාජාට පන්තියෙන් එලියට එන්න කියලා හරිම දායාබරව කිව්වා. රාජා පන්තියෙන් එලියට ගියේ වීරක්‍රියාවක් කරපු ටින් ටින් වගේ.. වැඩි වෙලාවක් ගියේ නෑ අළුත් අවුරුද්දට අර මොනවද පුපුරවනවා වගේ චට පට චට පට ගාලා ආපු සද්දෙට මුළු හොල් එකේම ළමයි සහ ගුරුවරු එලියට බැහැලා බලාගෙන හිටියා.

එදා නම් විදුහල්පතිතුමා රාජාට හොඳට සැලකුවා.... මෙහෙමත් කිව්වා

"තමුසෙට ලැජ්ජා නැද්ද මේ වගේ අහිංසක ගුරුවරයකුට ඔය වගේ ජරා වැඩක් කරන්න? දැන් පන්තියට යනවා..."

එතකොට අනේ අපේ පි‍යෝ සර් කිව්වා

"අනේ සර් මට නම් බෑ මෙයා ඉන්න පන්තියට උගන්නන්න"

වෙන මොනවා කරන්නද රාජාට ඒ මොහොතේම ස්ථාන මාරුවක් ලැබුනා "ඒ" පන්තියට.......

ඔය සිද්ධිය වෙලා අවුරුදු ගානකට පස්සේ ( හරියටම අවුරුදු 09 කින් විතර) දවසක් මට රාජා කථා කරා....
" මචං පොඩි ආරාධනාවක් කරන්න තියෙනවා, අපේ අයියගේ මගුල් ගෙදර තියෙනවා උඹ එන්නම ඕනේ "

හිතා ගන්න පුළුවන් නේද මට හිතුන දේවල්  

ප/ලි: හැබැයි ඇත්තටම උගේ අයියා බැන්දා... මායි තව යාළුවෝ දෙන්නෙකුයි වෙඩින් එකට ගියා, දැනට මාස දෙක තුනකට කලින්...
හැබැයි පි‍යෝ සර් නම් ඇවිත් හිටියේ නෑ                                                                                                                                                                                                         

6 comments:

  1. පව් වැඩේ ප්‍රින්සිපල් නම් මතකයි.එයා කොහොම අමතක වෙන්නද? *වා නේ? හික් හික්.හැබෑට කවුද ඔය යාලුවා?මුල නමින් කීවනම් දන්නව ඇති.

    ප.ලි: ඔයා මේ බ්ලොග් එක සින්ඩි වලට දාල නැද්ද?

    ReplyDelete
  2. හික් හික් මට මතක් උනා මදු*ත නේ? හෙහෙ මාර ලමයෙක්නේ .පව් සර් :(

    ReplyDelete
  3. අඩේ අපේ ගෙදරත් ඇවිත් තියනව එයා නම්.හොදට දන්න අදුරන අයනේ.

    ReplyDelete
  4. *වා තුමා තමයි...
    සින්ඩි වලට දාලා නෑ.. තාම මම බ්ලොග් කේස් එකට අළුත්

    හා හා ඔය මතක් වෙලා තියෙන්නේ... හිත හොඳඑකා.. මොනවා හිතිලා ඔය වැඩේ කරාද කියලා හිතා ගන්න බෑ

    ReplyDelete
  5. http://syndi.lankeeya.lk/

    http://www.hathmaluwa.org/

    මේවට දාන්න ඔයාගෙ බ්ලොග් එකත් එතකොට ගොඩක් අය බලනවනේ.

    ReplyDelete
  6. සර් ගැනනම් දුකයි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...